මින්දද හී සර 



සිංහල ගීත සාහිත්‍යයේ එන ප්‍රේමණීයම ගීතයක් මා මෙවර තෝරා ගෙන ඇත. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් පණ පෙවුනු මින්දද හී සර ගීතය ඉතා පැරණි වුවත් 21 වන සියවසේ රසිකයන් පවා ඉතා උනන්දුවකින් තවමත් රස විඳින්නේ එය ශබ්ද රසයට පමණක් සීමා නොවී අර්ථ රසයෙන්ද පිරුණු ගී නිර්මාණයක් නිසාවෙනි. Facebook, SMS, Skype නොමැති යුගයේ ප්‍රේමය කොතරම් සුන්දරද? සීමා මායිම් ඇතිව අවංකව පෙම් කළ යුගයේ අද මෙන් ගෙල වැල දා ගෙන හෝ පිහියෙන් ඇන හෝ මිය යාම් දුලභය. එසේ මිය ගියද මිය ගොස් ඇත්තේ අවංක ප්‍රේමයේ නාමයෙන්ය. නමුත් වර්තමානයේ Reload දමා ගැනීමට එක පෙමක්ද සිනමා ශාලාවට යාමට තව පෙමක්ද විශ්ව විද්‍යාලයට වෙනත් පෙමක්ද පිටිසර ගමේ අසරණ පෙමක්ද පවත්වාගෙන යන තරුණ තරුණියන් ඉතා සුලභය. නමුත් ගීතයෙන් කියවෙන්නේ ඊට හාත්පසින් වෙනස් වූ අහිංසක ගැමි පෙමකි. අතීතයේ ප්‍රේමයට පණ පෙවුණේ සාහිත්‍යයයි. කවියකින්, ගීයකින්, නිසැඳසකින් පිළිතුරු යැවුන සමයේ ප්‍රේමය කෙතරම් සොදුරුද. ඇතැමි විට ලිපියකට පිළිතුරක් එන්නේ සති කිහිපයකට පසුය. නමුත් එය වර්තමානයේ “gn.bs.sd.tc” වලට වඩා ඉතා අගනේය.

මින්දද හී සර වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ

තරුණයෙකුගේ හදෙහි ඉපදී ඇති ආලය ඔහු මෙසේ විස්තර කරයි. මල් සරාගේ ප්‍රේමණීය හී පහර ඔහුගේ හද හරහා ගොසිනි. දැන් හද සැලෙන්නේ පෙර පරිදි නොවේ. ප්‍රේමණීය රිද්මයකටය. නමුත් ඔහු ඇයව කලකින් හමු වී නැත. එනිසා හද සැලෙන රාවය මඳක් දුක්බර ගීතයක තනුවකට හැඬවේ. ඒ දුක් ගීතය ඔබට නොඇසේද සොඳුරිය. මාගේ සයනය ඔබ වෙනුවෙන්ම චන්දන මලින් සරසා අලංකාර කර ඇත. කන්ද උඩින් පුන් සඳ පායා වටපිටාව රන් වන් ආලෝකයේ ගිල්වන්නාක් මෙන් මාගේ අඳුරු ලොවට ඔබ පැමිණ රන් වන් පැහැයෙන් බබළන ඔබේ රූපයෙන් මාගේ ලෝකයද එළිය කරනු මැන.

තුරඟකු පිට නැගි නීල වළාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ
පිබිදුනු දෑසින් බලා හිඳිමි මම
කුසුම් සිනා කැන් හද පුරවා

ඉතා අලංකාර ලෙස සැරසූ අශ්වයෙකුගේ පිට නැගී වළාකුළු අතරින් සුරඟනක මෙන් ඔබ ඇදී එන කල පියවා ගත නොහැකි වූ දෑසින් ඔබ දෙස මා බලා හිඳින්නේ පිබිදී ආ මලක් වන් වූ ප්‍රේමණීය සිනාවකින් හදවත පුරවාගෙනය. මෙහිදී තව දුරටත් ඔහු විදහා දක්වන්නේ නීල වලාකුළු වන් සළු පිළින් සැරසී ඇදෙන සොඳුරිය තුරඟකු වන් තේජවන්ත හා දඟකාර තැනැත්තියක් බවයි.

මෙතුවක් කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා
නෙත් මිණි පහනින් පහන් කරනු මැන
අනාගතේ මංපෙත පාදා...


මෙතරම් කාලයක් දුකින් පිරි අඳුරු ජීවිතයක් ගෙවූ ඔහු අද දින ඉතා ප්‍රීතියට පත්ව ඇත. වෙනදාට ඇයගේ සිත් ඇදගන්නා සුළු මුහුණ හරි හැටි නොදකින ඔහු ඇයගෙන් ඉල්ලන්නේ සළුපිළි ඈත් කොට ඇයගේ ආකර්ශනීය රුව ඔහු වෙත ගෙනහැර දැක්වීමටයි. ඇයගේ ආකර්ශනීය බැල්ම සහිත මිණි මුතු සේ දිදුලන නෙත් යුගවලින් නැගෙන ආලෝකයෙන් ඔහුගේ ජීවිතය පහන් කර අනාගතයේ එක්ව යාමට ආයාචනා කරයි.....