Ran Kenden Banda - රන් කෙන්දෙන් බැඳ

 

රන් කෙන්දෙන්  බැඳ



දුහුළු මලක් චිත්‍රපටයට හරිම අපූරු සංවේදී ගීතයක් විශාරද නන්දා මාලනියන්ගේ මියුරු හඬින් රසවත් වෙන්නේ ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ පදවැලට සරත් දසනායකයන්ගේ සංවේදී තනුවෙනි.

රන්කෙන්දෙන්බැඳ
අතැඟිලි එක්කළ ආදරයයි
පෙම්රැහැනින්බැඳ
සිතුම්වසඟ කළ ආදරයයි

කතානායිකාව විවාහක කාන්තාවකි. එහෙයින් ඇයට සැමියෙකු සිටියි. පෝරු මස්තකය මත හිඳ රන් කෙන්දෙන් අතැඟිලි බැඳ නිත්‍යානුකුලව හිමි වූ ආදරයි. නමුත් ඇයට හිමි එපමණද... නැත... හදවතේ කොනකින් රහසේ හටගත් පෙම් රැහැනින් බැඳ දමා ඇති සිතුවිළි වසඟ කළ අනියම් ප්‍රේමයක්ද ඇයට හිමිය. සාමාන්‍ය සම්මත සමාජයේ ඇය අසම්මත ප්‍රේමයකින් වසඟ වී ඇති බව පවසයි.

ඇය නීතියෙන් තම සැමියාට බැඳී සිටින්නීය. එසේනම් ඇය අසම්මත පෙමක් කරා නැඹුරු වුයේ ඇයිදැයි ඔබට සිතෙන්නේද. ඇය සොයන ආදරය, සෙනෙහස, රැකවරණය, ඇතැම්විට ශුන්ගාරාත්මක ජීවිතය ඇගේ සැමියාගෙන් නිසි පරිදි නොලබුනාවත්ද? ඇගේ ජීවිතයේ දුර්වල ස්ථාන ග්‍රහණය කරගන්න අනියම් පෙම්වතා ඇගේ ජීවිතයට කෙමෙන් කෙමෙන් සමීප වෙයි. ඇත්තෙන්ම ඔහු තම සැමියාට වඩා ආදරය, සෙනෙහස, රැකවරණය වගේම ශුන්ගාරාත්මක අත්දැකීම් පවා ලබා දී ඇගේ ජීවිතයේ අඩුව පුරවන්නට පටන් ගනියි.

කිරිලිය සේ දුර පියාසලා ලා
අත්තටු රිදුණා පමණයි
දෑල විදාහල දෑත මගේ
ඔබටත්ඔහුටත්උරුමයි

නමුත් කල් යත්ම ඇගේ පෙම්වතා ආදරය, සෙනෙහස, රැකවරණයට වඩා ශුන්ගාරාත්මක අත්දැකීමට පමණක්ම ඇය යොදාගන්නා බව ඇයට කෙමෙන් කෙමෙන් පැහැදිලි වන්නට විය. ඇය රවටුනාවත්ද. මා කිරිල්ලියක් යැයි සිතා ආකාසේ නිදහසේ පියඹා ගියත් තම අනියම් පෙම්වතා ළඟ දැන් නම් මුළා වී ඇති බව සිතට දැනේ. දැන් මගේ අත් තටු රිදෙනවා ... නමුත් මගේ අත්  දෙක එක පසකින් මගේ සැමියාත් අනෙක් පසින් අනියම් සැමියාත් හට විදහාගෙන දෙදෙනාගේම පහස ලබමි.

හිරු සඳු එකවර දෙපස නැගේ
කළුවර ඇයි විජිතයම මගේ

මගේ ලෝකයේ හිරු එනම් මගේ ශක්තිය මගේ සැමියා. නමුදු මගේ ලෝකයට සෞම්‍ය සිසිල් ආලෝකය දෙන්නේ මගේ අනියම් පෙම්වතා. මේ දෙදෙනාම මගේ ලෝකයේ එකවර දෙපසින් නැගෙයි. නමුත් මගේ ජීවිතයම අදුරු වී ඇති බවක් මට හැඟෙයි.

කණාටු සුළඟේ දුහුල්මලකි අද
වල්මත්වී පාවෙන්නේ..
ඔබගෙන්දෝ.. ඔහුගෙන්දෝ..
මා හෙට දින සමුගන්නේ...

කුණාටුවට හසු වූ සිනිඳු මල් පෙත්තක් වන් මා අද වනවිට මේ අත වල්මත්වී අයාලේ  යමින් සිටියි. මේ ගෙවන ජීවිතය ඇත්තෙන්ම මට දැන් හිතට ලොකු බරකි. තීරණයක් ගැනීමට කාලය එළඹ ඇත. එත්... මා අසරණයි දෙවියනේ. මා කාව තෝරා ගන්නද. මා සමුගතයුත්තේ කාගෙන්ද? මගේ සැමියාගෙන්ද? නැති නම් අනියම් පෙම්වතගෙන්ද? අහෝ දෙවියනේ... මට පිහිටවන්න…


පහළින් එක්කර ඇත්තේ අභිෂේකා විමලවීර ගයනාකරන එම ගීතයේ අනුගායනයකි. ඊට හේතුව ඇගේ ගායනය වඩාත් හදවතට දැනෙන ලෙස හැඟුම්බරව ගයනාකරන බැවිනි.




Post a Comment

0 Comments