Monday, September 22, 2014

Hima Diya Vee Himalaye

හිම දියවී හිමාලයේ....



සුභාවිත ගීත සාහිත්‍යයේ ඇති ගීත අතලොස්ස අතුරින් ඉතා අලංකාර ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැක. සුභාවිත ගීතයේ ඇති විශේෂත්වය නම් සංගීතය ඉතා මිහිරිය. ශ්‍රවණයෙන් රෝග පවා සුව කළ හැක. අරුත ඉතා ගැඹුරුය. රසිකයා වෙත කෙලින්ම ඉදිරිපත් නොකරයි. භාව රසයද ඉතා ඉහළය. හිම දියවී හිමාලයේ, ගීතයට හඬ මුසු කරන්නේ ගායන ශිල්පී අමරසිරි පීරිස් සමඟින් ශිල්පිනී වසන්තා තිලකාංගනීය. එතරම් ජනතාව අතරට නොගියද අර්ථ, භාව රසය ප්‍රිය කරනා රසිකයන්ගේ හද බැඳගත් ගීතයකි.


සදාතනික ආදරවන්තයන් වූ රාධා සහ ක්‍රිෂ්ණා යොදා ගනිමින් ප්‍රේමයේ හිනිපෙත්තටම නැග ශුංගාරය පිළිබඳ ඉදිරිපත් කරයි. රාධා සහ ක්‍රිෂ්ණා යනු ඉන්දියානු දේව සංකල්පයක් බැවින් හිමාලයද යොදා ගෙන ඇත. නමුත් ඒ උපමා සඳහා පමණි. මේ ගීතයට සවන් දෙන ඔබ විසින් චිත්ත රූප මවා ගත යුතුය.

හිම දියවී හිමාලයේ

යමුනා ගඟ නගයි තරංගා..
සුදු පෙණ කැටි බලන්න රාධා..
සුළඟ හමයි සීතල සාදා..
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..

අප කවුරුත් දන්නා පරිදි හිමාල කඳු වැටිය හිමෙන් වැසුනු ශිඛරයන්ගෙන් පිරි ඉතා සිත් ඇද ගන්නා දසුනකි. යමුනා ගඟේ ආරම්භය හිමාලය බැවින් දිය වන හිම යමුනා ගඟේ ජල ප්‍රවාහය වර්ධනය කරයි. ඉන් අලංකාරවත් රළ පෙළක් දැකිය හැකිය. හිම දිය වන්නේ කුමක් නිසාද. උණුසුම නිසාය. රාධා සහ ක්‍රිෂ්ණාද ප්‍රේමයෙන් මත් වී උණුසුම් වී ඇති බව ව්‍යංගයෙන් අපට කියාපායි. යමුනා ගඟ අසබඩ ඇති ගල් තලාවක් මත වැතිර සිටින ඔවුන් දෙදෙනාට ගලින් ගල වැදී විසිරී සුදු පෙණ කැටි විසිරෙන අයුරු පෙනෙන අතර දසතින් හමා එන සීත සුළං රැල්ල ගත හිරිවට්ටමින් ඇදී යයි. රාධා ක්‍රිෂ්ණාගෙන් අසන්නේ මේ සීතල උනුසුමකටම පෙරලෙන්න බැරිද කියාය. එනම් මේ සීතල නිසාම රාගික හැඟීම් ඔබේ සිතට නොඑන්නේද යන්නයි. 

සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ..
පීණන මේ ස්වර්ණ හංසයෝ..
අකීකරුද මෙතරම් රාධා..


හදවතේ ඇති සතුට කෙතරම්දයත් සිනා රැළි නගමින් උතුරා යන ඇගේ වත සහ ගත නීල ජලාශයක් මෙන් ඒ මේ අත ඇඹරෙයි. ඇගේ ළැම චලනය වන්නේ ඒ රැළි නඟනා නීල ජලාශයේ පිහිනා  යන ස්වර්ණ හංසයන් මෙන්ය. ඇත්තෙන්ම දුටු පමණින් සිත තුළ රාගය උතුරා යවන්නා වූ මේ ස්වර්ණ හංසයන් යුගල මෙතරම් අකීකරුද. ඉන් පෙන්වන්නේ ඇගේ ලැම කෙතරම් සිත ආකර්ෂණය කරන්නා වූ අපූරු දසුනක්ද යන්නයි.

ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..

ඉඩ දී දෙන්නට දඩුවම්, යනුවෙන් ව්‍යංගයෙන් පවසන්නේ, මාගේ ලැම හංසයන්ට ඔබ කැමති ඕනෑම දුවමක් දීමට නැති නම් රිසි සේ හැසිරවීමට ඉඩ දී දෑස පියාගෙන ඒ සුව විීමට සූදානම් බවය.

මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ..
සඳ දිය මිණිමෙවුලට වැටිලා..
දෑස නිලංකාරයි රාධා..


ඔහු ඇය මත වැතිර සිටියි. එය හැඟවීමට යොදාගෙන ඇත්තේ මල් පෙති පොඩි වී ඇති බවය. මල් පෙති පොඩි වී ඇත්තේ දෙදෙනාගේ සිරුරු දෙකට මැදි වීමෙනි. මේ යහන් තලාවේ සුවසේ වැතිර සිටින ඔවුනට හැඟෙන්නේ සඳ එළිය දිය දහරාවක් සේ මැණික් වට්ටියකට වැටී දිලිසෙන්නාක් මෙනි. ඇත්තෙන්ම ඒ කුමක්ද. සඳ එළිය වැටී මිණි මෙන් දිලිසෙන්නේ ඇගේ ශෝභමාන ගතයි. ඉන් මත් වන ක්‍රිෂ්ණාගේ දෑස් මත් වී නිලංකාර වී යයි.

ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..


මිණි කැට ඉතා වටින්නේය. මිණි දුටු කල එය හැර යන්නේ කවරෙක්ද. මිණිකැට ගිලිහි ගියද සිත වෙනස් නොකර මත් වූ ලෝකයේ අප දෙදෙනා පීනා යමු. ඇත්තෙන්ම ඔවුන් රාගයේ උපරිම තලයට පැමිණ ඇත. ඒ උපරිම සුවය විඳිමින් මා දෑස වසාගෙන ඔබේ පහස මෙසේ විඳින්නම්.



ගායනය           : අමරසිරි පීරිස් සමඟින් වසන්තා තිලකාංගනී
පද රචනය        : ධම්මික බණ්ඩාර
සංගීතය            : ඩැනිස්ටර් පෙරේරා



Click here to download MP3




Thursday, September 18, 2014

Song Requests

අරුත් දැන ගැනීමට ඔබ කැමති ගීතය comment එකක් ලෙස පහතින් එක් කරන්න...


Wednesday, September 10, 2014

Colamba Duwanniyee

කොළඹ දුවන්නියේ...




සමිතා එරන්දතී මුදුන්කොටුව විසින් අනූව දශකයේ පමණ ගායනා කළ කොළඹ දුවන්නියේ.. ගීතය එම යුගයේ ඉතා ජනප්‍රිය ගීයක් වූවද වර්තමානයේ එතරම් අසන්නට නොලැබෙන ගීයකි. එබැවින් මෙය කියවීමට පෙර පළමුව පහතින් මෙම ගීතය ශ්‍රවනය කරන්න. (Click here to download )බොහෝ දෙනා ගීතයක ශබ්ධ රසයට පමණක් අවධානය යොමු කළද එහි ඇති අර්ථය ඉතා වැදගත්ය. මතුපිටන් පෙනෙන ආකාරයට මෙහි කෝච්චියක් මුල් වූ කතාවක් සාමාන්‍ය රසිකයා තුලට ගෙන යයි. ඇත්තෙන්ම මෙහි ගේය පද රචකයාගේ දක්ෂතාවය අගය කළ යුතුය. ඔහු මෙහි කොච්චියකට ආරූඪ කර ඇත්තේ පිටිසර ගමක සිට රැකියාව සඳහා කොළඹ බලා පැමිණෙන තරුණියකයි. මෙහිදී ඔහු භාවිතා කර ඇති වචන මාලාවද පිටිසර ගැමි වදන්වලින් සැදුම්ලද්දකි.

මෙම කතාවේ තරුණියන් දෙදෙනෙකි. එක් අයෙක් වසර ගණනාවක් කොළඹ රැකියාව කර කොළඹ පිළිබඳ මනා අවබෝධයක් ඇති යෙහෙළියකි. සරළව කිවහොත් කොළඹ පරිසරයෙන් හොඳට තෙම්පරාදු වී ඇති තැනැත්තියකි. අනෙක් තැනැත්තිය ගමේ ජීවිතය පමණක් හුරු කොළඹට ආධුනික අපේ කතානායිකාවයි. මෙම කතානායිකාව තම යෙහෙලියගෙන් උපදෙස් ගෙන කොළඹ රැකියාවකට යාමට සූදානම් වෙයි. ගැමි පරිසරයක සිට කොළඹ රැකියාවක් කරා පැමිණෙන තරුණියකට මුහුණ දීමට සිදුවන සිදුවීම් පිළිබඳ අමුතුවෙන් මතක් කළ යුතු නොවේ.

කොළඹ දුවන්නියේ හෙට පාන්දර ඇවිත්
මං එනතුරු ඉස්ටේසමේම නැවතී ඉපං
කීවාම මොකද බං මටනං බයත් හිතේ දැං
උඹ වගේ ගමං ගිහිං නෑනෙ මං

කතානායිකාව තම මිතුරියව කොළඹ දුවන කෝච්චියක් ලෙස හදුන්වයි. පසුදා උදෑසන කොළඹ බලා යාමට සිතා සිටින ඇය මතුරියට පවසන්නේ තමා එනතුරු දුම්රිය නැවතුම්පලේ සිටින ලෙසයි. යම් හෙයකින් ඇය නොසිටියහොත් තමා මං මුලා වන බව පවසයි. ඒ ගැන බියෙන් පසුවන ඈ මිතුරිය පිළිබඳ විශ්වාසය තබන්නේ මිතුරිය හොඳ පුරුදුකාරියක් බව දන්නා බැවිනි. උඹ වගේ ගමං ගිහිං නෑනෙ මං යනුවෙන් ඇය පවසන්නේ ඒ බව ඒත්තුගැන්වීමටයි.

එක යාළු රැළක් උඹ එක්කලා නඩේ ගැහෙන්නේ
ඔය කොළඹ රටේ ගස්ගල් වුනත් උඹ අුනන්නේ
එහෙ අළුත් යාළුවොත් මට මුණගැහෙයිද මන්දා
ගංගොඩේ ඉතිං ඒ ගැන කුචු කුචු ගාන්නෙපා

කොළඹ, ගමේ වගේ නෙවෙයි. එහේ එක එක යාළුවොන්ගෙ කල්ලි තියෙනවා. ඒ යාළු රැළක් එක්ක මුළු කොළඹම කරක් ගහපු මිතුරියක් ඇයට සිටින්නේ. එය ඉතා අපූරුවට පෙන්වන්නේ කොළඹ රටේ ගස්ගල් වුනත් උඹ අුනන්නේයන වදන් පෙළිනි. එය ඇතැම් විට සාමාන්‍යයෙන් කොළඹ රටේ සංචාරය කර ඇති බවක්ම නොවන්නට පුළුවනි. බොහෝ විට ඉන් කීමට තැත් කරන්නේ කොළඹ රටේ පෙම්වතුන් සමඟ ඇගේ මිතුරිය නොගිය තැනක් නැති බවය. ගස් ගල් යනුවෙන් සංකේතවත් කර ඇත්තේ එය විය හැකිය. ඇයට වගේම මටත් කොළඹ රටේ අලුත් යහළුවන් (පෙම්වතුන්) මුණගැහෙන්නත් පුළුවනි. හැබැයි ඒ දේවල් ගැන ගමේ ගිහින් නොකියන ලෙසට ඉල්ලා සිටී. මොකද කොළඹ රටේ ගස් ගල් හැඳුනුවත් ගමේ ගස් ගල්වලට ඇස් , කන් ඇති නිසා.   

දිග පීලි උඩිං කොහොමද උඹ නොවැටී යන්නේ
බිං ගෙවල් මැදිං කළුවරේම පාර දකින්නේ
මට නොදැන ගිහිං මමත් පීලි පනීද මන්දා
අනෙ එහෙම වුනොත් මේ මෝඩිට හූ කියන්නෙපා

ඇත්තෙක්ම විටෙක තම මිතුරිය පිළිබඳ පුදුම සහගතයි. මෙතරම් දරුණු අවිනිශ්චිත කොළඹ සමාජයේ ඇය ආරක්ෂාකාරීව ජීවත් වෙයි. හරියට වේගයෙන් යන දුම්රියක් පීලි උඩ නොවැටී යනවා වගේ. ඉදිරියට එන්න තියෙන අනතුරු කලින් දැනගෙන ඒවා මගහරිමින් යන්නේ හරියට බිංගෙවල් තුලින් කරුවලේම පාර සොයා යන ලෙසටයි. ඒ වුනත් මට නම් තාම ඒ වගේ මේ සමාජයේ කරදරවලින් බේරී සිටීමට දැනුම් තේරුම් නැහැ. නොදැනුවත්කම නිසාම මම වැරදි පාරෙ ගිහින් ජීවිතේ විනාශ කරගනීද දන්නෙත් නැහැ යන අදහස හොඳින්ම ගෙනහැර දක්වන්නේ මට නොදැන ගිහිං මමත් පීලි පනීද මන්දා යන ඉතා අනර්ඝ යෙදුම්වලිනි. කතාව තවමත් දුවන්නේ කෝච්චිය මත පදනම්ව නිසා ඊළඟ යෙදුමද අවස්ථාවට උචිතය. අනෙ එහෙම වුනොත් මේ මෝඩිට හූ කියන්නෙපා

ඉතා වටිනා අදහසක් ව්‍යංගයෙන් සමාජගත කිරීමට ගීත රචකයාගේ භාෂාව, යෙදුම්, උපමා සියල්ල මනාව ගැලපී ඇත. එලෙසම ගීතය සමාජගත කීරීමට අවශ්‍ය උචිත සංගීත රටා සංගීත නිර්මාණ ශිල්පියා යොදාගෙන ඇත. මේ සියල්ල සමාජගත කිරීමට ගායන ශිල්පිනියගේ හැකියාව උපරිමයෙන් දායක වී ඇත. අප සමාජය තුළ මෙවැනි කොළඹ දුවන්නියන් කොතරම් ඇත්ද...?