Monday, June 9, 2014

Iri Thalunu Wala

 ඉරි තැලුනු වළා 



ලංකාවේ ගායකයන් අතුරින් සෘතියෙහි හරියටම පිහිටා ගායනා කරන්නන් අතුරින් ප්‍රමුඛයා වන අමරසිරි පීරිස් නම් වූ ඔහුගේ ගීත ගොන්න විවිධාකාරය. ඒ අතුරින් මා මෙවර තෝරා ගන්නේ ඉරි තැළුනු වළා ගීතයයි. මෙයින් කියවෙන්නේ පාරේ යන පෙම් යුවලක් පිලිබඳවද නැතහොත් වෙනත් දෙයක් පිලිබඳවද? සරල ලෙස ගීතයට සවන් දෙන අයෙකුට හැඟී යන්නේ කිසිම තේරුමක් නැති පාරක් කහ ඉරක් ගැන ඔහේ කියවෙන වදන් පෙළකි. නමුත් මා හට හැඟුනේ වෙනත් අරුතකි. මෙයින් ගෙන හැර පාන්නට උත්සාහ කරන්නේ වර්තමාන සමාජය පිලිබඳවයි.

ඉරි තැලුනු වළා උඩු වියන් යටන්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ සෙනඟ රවටමින්

ගීතයේ පළමු පද දෙක ගත් කල එහි නොගැලපෙන යමක් ඔබට පෙනෙනවා ඇත. එහි එන ආකාරයට වළාවන් ඉරි තැලී ඇත, නමුත් තාර පාර මෘදුය. එය හාත්පසින්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ නාම විශේෂණ දෙකකි. සාමාන්‍යෙයන් අප වළාකුළු  මෘදු ලෙස දක්වන අතර දැකිය හැක්කේ ඉරි තැලී ගොස් ඇති තාර පාරය. ඔහු මෙයින් දකිවන්නේ වර්තමාන සමාජය කණපිට හැරී ඇති බවයි. ඔහු මෙහිදී කතාවේ හුදකලා බව නැති කර ගැනීමට පෙම්වතිය යොදාගෙන ඇත. ඔහු ඇයට ආරාධනා කරන්නේ එම සමාජය තුල ජීවත් වීමටයි. සමාජය මහා මාර්ගයට උපමා කර ඇති ඔහු පවසන්නේ එකිනෙකා රවටමින් සිව් දෙසින්ම එකිනෙකා හඹා යන පිරිස් ගමන් කරන බවයි.

වට පිටේ සීරුවට
විදුලි ඇස් සිනාසේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතෙර වීලා

මෙහිදී ඔහු උත්සාහ කරන්නේ මේ සමාජය පිළිබඳව තම පෙම්වතියට කරුණු කියා දීමටය. වටපිටාවේ ඇදෙන වාහනවල විදුලි ලාම්පු දීප්තියෙන් බබළන්නේ සිනාසෙන්නාක් මෙනි. ඉන් අදහස් කරන්නේ සමාජයේ ජීවත් වන මිනිසුන් නොයෙක් ආකාරයේ මුළාවන්ට ඔබව හසු කරන්නට උත්සාහ ගත හැකි බවය. ඒ එළිවලට නොරැවටී කහ ඉරෙන් එතෙර වී යන ලෙස ඇයට ආරාධනා කරයි. මාර්ගයේ තැන් තැන්වලින් මාරු වීමට ගියහොත් වාහනවලට හසුවී අනතුරු සිදු වන බැවින් ඊට නියමිත ස්ථානයෙන් එනම් කහ ඉරෙන් යා යුතුය. මෙහිදී කහඉරට උපමා කර ඇත්තේ සමාජයේ පවතින නීතියයි. ඔහු ඉල්ලා සිටින්නේ වැරදි මාර්ගවල නොගොස් නීතියට අනුව කටයුතු කරන ලෙසයි.

රිය පෙලේ කිරුළු හිමි
රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැළි වැටීලා


රිය පෙලේ කිරුළු හමි රජවරුන් නම් වාහනවල අයිතිකරුවන්ය. ඉන් උපමාවට ලක් වන්නේ ධනය බලය හිමි සමාජ පන්තියයි. ඒ රජවරුන් ඔබට නීති විරෝධී සමාජ විරෝධී දේ කිරීමට අත වනා ආරාධනා කළ හැක. එවිට එය නොදැක්කාක් මෙන් ඉවත බලා යන්න යමු. එසේ යාමට ප්‍රභල හේතුවක් ඇත. එනම් කහ ඉරත් රැළි වැටී ඇති නිසාය. කහ ඉර රැළි වැටීම විකාර රූපී හේතුවක් නොවේ. ඉන් අදහස් කෙරෙන්නේ සමාජයේ පවතින නීතියද වල් වැදී ඇති බවය. එවන් කලක වෙන අන් කවර සරණක්ද...?




Thursday, June 5, 2014

Mindada Hee Sara

මින්දද හී සර 



සිංහල ගීත සාහිත්‍යයේ එන ප්‍රේමණීයම ගීතයක් මා මෙවර තෝරා ගෙන ඇත. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් පණ පෙවුනු මින්දද හී සර ගීතය ඉතා පැරණි වුවත් 21 වන සියවසේ රසිකයන් පවා ඉතා උනන්දුවකින් තවමත් රස විඳින්නේ එය ශබ්ද රසයට පමණක් සීමා නොවී අර්ථ රසයෙන්ද පිරුණු ගී නිර්මාණයක් නිසාවෙනි. Facebook, SMS, Skype නොමැති යුගයේ ප්‍රේමය කොතරම් සුන්දරද? සීමා මායිම් ඇතිව අවංකව පෙම් කළ යුගයේ අද මෙන් ගෙල වැල දා ගෙන හෝ පිහියෙන් ඇන හෝ මිය යාම් දුලභය. එසේ මිය ගියද මිය ගොස් ඇත්තේ අවංක ප්‍රේමයේ නාමයෙන්ය. නමුත් වර්තමානයේ Reload දමා ගැනීමට එක පෙමක්ද සිනමා ශාලාවට යාමට තව පෙමක්ද විශ්ව විද්‍යාලයට වෙනත් පෙමක්ද පිටිසර ගමේ අසරණ පෙමක්ද පවත්වාගෙන යන තරුණ තරුණියන් ඉතා සුලභය. නමුත් ගීතයෙන් කියවෙන්නේ ඊට හාත්පසින් වෙනස් වූ අහිංසක ගැමි පෙමකි. අතීතයේ ප්‍රේමයට පණ පෙවුණේ සාහිත්‍යයයි. කවියකින්, ගීයකින්, නිසැඳසකින් පිළිතුරු යැවුන සමයේ ප්‍රේමය කෙතරම් සොදුරුද. ඇතැමි විට ලිපියකට පිළිතුරක් එන්නේ සති කිහිපයකට පසුය. නමුත් එය වර්තමානයේ “gn.bs.sd.tc” වලට වඩා ඉතා අගනේය.

මින්දද හී සර වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ

තරුණයෙකුගේ හදෙහි ඉපදී ඇති ආලය ඔහු මෙසේ විස්තර කරයි. මල් සරාගේ ප්‍රේමණීය හී පහර ඔහුගේ හද හරහා ගොසිනි. දැන් හද සැලෙන්නේ පෙර පරිදි නොවේ. ප්‍රේමණීය රිද්මයකටය. නමුත් ඔහු ඇයව කලකින් හමු වී නැත. එනිසා හද සැලෙන රාවය මඳක් දුක්බර ගීතයක තනුවකට හැඬවේ. ඒ දුක් ගීතය ඔබට නොඇසේද සොඳුරිය. මාගේ සයනය ඔබ වෙනුවෙන්ම චන්දන මලින් සරසා අලංකාර කර ඇත. කන්ද උඩින් පුන් සඳ පායා වටපිටාව රන් වන් ආලෝකයේ ගිල්වන්නාක් මෙන් මාගේ අඳුරු ලොවට ඔබ පැමිණ රන් වන් පැහැයෙන් බබළන ඔබේ රූපයෙන් මාගේ ලෝකයද එළිය කරනු මැන.

තුරඟකු පිට නැගි නීල වළාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ
පිබිදුනු දෑසින් බලා හිඳිමි මම
කුසුම් සිනා කැන් හද පුරවා

ඉතා අලංකාර ලෙස සැරසූ අශ්වයෙකුගේ පිට නැගී වළාකුළු අතරින් සුරඟනක මෙන් ඔබ ඇදී එන කල පියවා ගත නොහැකි වූ දෑසින් ඔබ දෙස මා බලා හිඳින්නේ පිබිදී ආ මලක් වන් වූ ප්‍රේමණීය සිනාවකින් හදවත පුරවාගෙනය. මෙහිදී තව දුරටත් ඔහු විදහා දක්වන්නේ නීල වලාකුළු වන් සළු පිළින් සැරසී ඇදෙන සොඳුරිය තුරඟකු වන් තේජවන්ත හා දඟකාර තැනැත්තියක් බවයි.

මෙතුවක් කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා
නෙත් මිණි පහනින් පහන් කරනු මැන
අනාගතේ මංපෙත පාදා...


මෙතරම් කාලයක් දුකින් පිරි අඳුරු ජීවිතයක් ගෙවූ ඔහු අද දින ඉතා ප්‍රීතියට පත්ව ඇත. වෙනදාට ඇයගේ සිත් ඇදගන්නා සුළු මුහුණ හරි හැටි නොදකින ඔහු ඇයගෙන් ඉල්ලන්නේ සළුපිළි ඈත් කොට ඇයගේ ආකර්ශනීය රුව ඔහු වෙත ගෙනහැර දැක්වීමටයි. ඇයගේ ආකර්ශනීය බැල්ම සහිත මිණි මුතු සේ දිදුලන නෙත් යුගවලින් නැගෙන ආලෝකයෙන් ඔහුගේ ජීවිතය පහන් කර අනාගතයේ එක්ව යාමට ආයාචනා කරයි.....


Monday, June 2, 2014

Supem Hangum Oben Epa

සුපෙම් හැඟුම් ඔබෙන් එපා



ගීතයට හඬ මුසු කරන්නේ ප්‍රදීපා ධර්මදාස සමඟින් ලක්ෂ්මන් විජේසේකරයන්ය. ගීතය අප වෙත ගෙන එන්නේ සාමාන්‍යෙයන් අප අත්විඳින සිදුවීමකි. ඒ මිතුරු පෙමයි. පාසැලේ සරසවියේ සිට දක්නට ලැබෙන මිතුරු පෙම බොහෝ විට තාවකාලිකය. තම මිතුරියක් කෙරෙහි ප්‍රේම හැඟීමක් ඇති වී නොදැනීම මිතුරුකම වෙනත් අන්තයක් කරා යයි. බොහෝ විට ඇයගේ සිත් ඇදගන්නා රූ සපුවට වශී වී හෝ වෙනත් විශේෂ ලක්ෂණයකට ආකර්ෂණය වී මිතුරුකම මිතුරු පෙමක් දක්වා යයි. නමුත් පෙමක් ඇති වූ පමණින් එය විවාහයෙන් අවසන් නොවනු ඇත. විවාහය කරා යන කල සමාජය විසින් බාධක වැට කඩුළු රැසක් ඉදිරිපත් කරයි. බොහෝ විට සමාජ තත්ත්වය, පවුල් පසුබිම වැනි දෑ මෙයට බලපායි. එවන් තත්ත්ව මත මෙහි කථානායකයා හා කථානායිකාව අතර විශාල පරතරයක් ඇත. පෙම යනු හදවතට බැඳුනු දෙයකි. එවන් මතකයන් හදවතින් මැකිය නොහැක. එහෙයින් අප අතරේ මිතුරුදමට එහා ගිය පෙමක් ඇතිකර ගැනීම නුසුදුසු බව ඇය පවසයි.

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩ බිමේ ... //

මහ සයුරේ පාවෙන නෞකාවක් හට ගොඩබිමේ ඇති ප්‍රදීපාගාරයක් දර්ශනය වුවද කවදාවත් නෞකාවට පහන් කණුව වෙත යාත්‍රා කිරීමට නොහැකිය. එනම් කිසිදාක එක්වීමක් සිදු නොවේ. කළ හැක්කේ ඈත සිට බලා හිඳීම පමණි.

තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසි දින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

තරු එළිය එතරම් ප්‍රභල නොවේ. එම එළියෙන් මඟ හරි හැටි සොයාගෙන යාම අපහසුය. එසේම මා ද හරිහැටි මඟක් නොදැන මේ දුරු ගමන තනිවම යමි. මට ඔබේ අලෝකය ලැබුණද මා යා යුත්තේ දියඹටය. ගොඩබිම සිටින ඔබ වෙත පැමිණිය නොහැකිය. එබැවින් අපේ සිහිනය මෙලෙසම මිය යා යුතුය.

පෙරයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකි බිඳිනෙමි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්


නමුත් එසේ සිහිනය මිය යාමට ඉඩ දිය හැකිද. අතීතය නැවත නැවතත් සිහියට නැගෙයි. එම මතකයන් තුළ සැඟවී තනිවම දුකට තුරුළු වී සිටිමි. ඒ සොඳුරු දසුන ඉතා මනරම්ය. යළිත් ඔබ දැක ගැනීමටම මඟ බලා සිටිමි. . .